Archive | Uncategorized RSS for this section

අව්රුද්ද, වසර සහ අපි.

2013 ගැන බොහෝදෙනා උද්දාමයට පත්ව ඇති අද දින අව්රුද්ද වසර සහ ඒ හා සම්බන්ධ කාරණා ගැන මාගේ ආදහස සනිටුහන් කිරීමට තීරණය කලෙමි. මෙය මෙයට කලින් මා විසින් ලියන ලද “සමරමු අපි නත්තල්” ලිපිය හා සමාන විවරණයක් බව කලිතියාම සනිටුහන් කිරීම යුතු ය.

මුකින්ම අපි අව්රුද්ද යන්න කිමෙක් දැයි සලකා බලමු. බොහෝ දෙනා සලකන්නේ අව්රුද්ද යන්න වසර හා සමානාර්ථ යෙදුමක් ලෙසය. නමුත් එය එසේ ලෙස අපි නොදකිමු. අව්රුද්ද යන්න සංස්කෘතයේ එන “අවුර්" පදයෙන් බිදී එන්නකි. අවුර් යනු සූර්‍යයා හැදින්වීමට යෙදුනු පදයකි. ආදිත්‍යා යන්නද මෙයටම සමාන අර්ථයක් වේ. අවුර් + ඉද්ද යන්න සූර්‍යයා කෙලින් පිහිටනවා,  සූර්‍යයා හිස මුදුන් වෙනවා යන්න හැදින්වීමට වෙදුන ව්‍යවහාරයකි. එනම් අව්රුද්ද යන්න යම් සිද්දියකි. එම සිද්දිය දින 365ක් තුල දෙවරක් සිදුවේ. පළමු වරට මෙම සිද්දිය අප්‍රියෙල් මාසය තුළදීත්, දෙවන වරට ඔක්තෝබර් මාසය තුළදීත් ආදී වශයෙනි ඒ.

පුරාතන සිංහලයෝ (සිව්-හෙළයෝ)  සූර්‍යය භක්තිකයන් වූ බව පැහැදිලි කාරණයකි. භාෂාව තුල අදත් ව්‍යවහාර වන “ආදිතමයා" – “ආදී කාලයේ" යන්න, ආදිත්‍යා ගෙන් පවත එන නොහොත් ආදිත්‍යා විසූ කාලයේ යන යෙදුම් වලිනුත්,  සූර්‍යය මංගල්ලය, අවරුදු කුමාරයා හිරු ගෙන් හුවා දැක්වීම සහ අදටත් බොහෝදෙනා කතා කරන “ඉර සේවය නැරබීම" යන්න මෙම කාරණය සම්මත කිරීමට ඇති නොසලකා හැරිය නොහැකි සාධක වේ. පුරාණ සිංහලයෝ ආදිත්‍යාට නෑකම් කියූ බවර, නොහොත් පුරාතන සිංහලයා  සූර්‍යය වංශිකයන් වූ බවට තවත් සාධක අවශ්‍ය පමණ ගෙනහැර දැක්විය හැක. ඉඳින් සිංහලයා හිරු මුදුන් වීම හෙවත් අව්රුද්ද සැමරීම පුදුමයට කාරණයක්ද?

බක් මස අස්වනු නෙලාගනීමේ උත්සවය සහ අව්රුද්ද යන දෙකම එක්කර සොභාග්‍ය සංකේතවත් කරන සිංහල අවරුදු උත්සවය නිර්මාණය වූවේ මේ කාරණය පදනම් කරගෙන බව මාගේ තද බල විශ්වාසයි. දෙවන අව්රුද්ද හෙවත් ඔක්තෝබර් මස සැමරීම සිදු නොවන්නේ අස්වනු දෙවන කන්නයේ අස්වනු නෙලීම දෙසැම්බර් මස සිදුවන නිසා විය හැක. අප විසින් මතක තබාගතයුතු කාරණය වන්නේ පුරාතන සිංහලයන් ගොවි කමින් ජීවත් වූවන් වූ හෙයින් ඔවුන්ගේ සොභාග්‍යවත්ම කාලය අස්වනු නෙලීමේ කාලය වූ බවයි. තවද ලොවපුරා සැරිසරන හිරු කුමරු අප බැලීමට එන කාලය ලෙස ඉරු හිසට කෙලින්ම ඉහලින් පායන කාලය තොරගැනීමත්, එදිනදී හිරු කුමරුගේ ආගමනය සැමරීමත්, තම අස්වනු නිසි පරිදි ලැබීමට “හිරු" කුමරුගෙන් ලැබුණු අනුග්‍රහයට කෘතගුණ සැලකීමත් වශයෙන් හිරු කුමරු පිදීම සිදු කිරීමත් ගැන අපගේ පැරැන්නන්ට දොස් නැගිය යුතු නොවේ.

වැදගත්ම කාරණය නම් ජනවාරි පළමුවෙනිදා අව්රුද්ද නොවන බවය.

මීලඟට අපි වසර ගැන කතා කරමු. වසර හෙවත් වර්ෂය යන්න යම් සිදුවීම් දෙකක් අතර කාල පරිච්චේදය හැදින්වීමට යෙදෙන පදයයි. මෙය හැමවිටම දින 365 ම නොවේ. සංස්කෘතයේ එන “වර්ෂ" යන්නත් ලතින් භාෂාවේ එන “Annus” යන්නත් යුරෝපයේ බොහෝ භාෂාවන් හේ තිබුණු “year" පදයට සමානාර්ථ පද සියල්ලමත් මෙම විවරණය හා එකඟ වේ. වර්ෂ, නැත්නම් year, එසේත් නැත්නම් Annus (Annuam යන්නට මාතෘ වූ පදය) සිදුවීම දෙකක් අතර කාලයි. නැත්නම්, පුරාණ සිංහල ක්‍රමයට අනුව අවරුදු දෙකක් අතර කාලයයි. එසේ නම් වසර පටන් ගන්නේ අවුර් ඉද්දෙණි. නව අවසර පටන් ගන්නේ අවුරුද්දට පසු දිනයෙනි. ජනවාරි පළමු වෙනිදා ගෙන් නොවේ.

කාරණා කාරණා මෙසේ වනවිට අව්රුද්ද යන්න කුමක්ද යැයි පැහැදිලි වේ. නමුත් තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේ සිංහල අලුත් අව්රුද්ද, හින්දු අලුත් අව්රුද්ද යනු එකක් නොවන බවය. සිංහල අලුත් අව්රුද්ද සූර්‍ය මංගල්‍යයි. එය සූර්‍ය කේන්ද්‍ර උත්සවයකි. නමුත් හින්දු අලුත් අව්රුද්ද ගණිතමය පදනමකින් යුතු පෘතුවිය සූර්‍යයා වටා සම්පූර්ණ වටයක් නිම කිරීම (මෙහිදී ගණිතය යන්නෙන් අදහස් කලේ ජ්‍යෝතිෂ්‍ය බව මතක් කරනු කැමැත්තෙමි) මත පදනම් වූවකි. (සූර්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම). මෙය ඉන්දියාව තුල ඇතිවී එහි තිබූ අග්නි හෙවත් ගිනි දෙවියා පිදීම සංකල්පයෙන් පෝෂණය වී (ලිප ගිනි නිවීම, ලිප ගිනි දැල්වීම, කිරි ඉතිරවීම, කාන්තාවන්ට අකැප වීම යන්න තදබල හින්දු සංකල්ප බව නොරහසකි.) මෙය හින්දු අලුත් අව්රුද්ද මිස සිංහල අලුත් අව්රුද්ද නොවේ. මේ දෙක සංකල්ප දෙකක් වන අතර දින දෙකකට යෙදී ඇත. සංකල්පමය වශයෙන් වෙනස්වන මෙම සිද්දි දෙක අද සිටින බොහෝදෙනා පටලවාගෙන සිටීම දුකට කාරණයකි. පුරාණ සිංහලයා සමරුවේ සිරු මුදුන් වීමයි. හින්දුන් සමරුවේ සූර්‍ය සංක්‍රාන්තියයි.

නමුත් මේ දෙකින් එකක්වත් ජනවාරි පළමු වෙනිදාට යෙදී නැත. එදිනට යෙදී ඇත්තේ සීසර්ලාගේ උගුලයි. අප වැටී ඇත්තේ එම උගුලේයි. එය අපට කිසිසේත්ම අදාළ නොවන බව සක් සුදක් සේ පැහැදිලිය.

බුද්ධ වර්ෂ, ශකරාජ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ව්‍යවහාර වර්ෂ සහ මුදල් වර්ෂ ගැන පසු දිනෙකට කතා කිරීමට ඉතිරි කරගමි.

මාගේ මෙම සංකල්ප කෙරෙහි ඇති යෝජනා සහ චෝදනා භාරගැනීමට ඉතා සිතින් සතුටු වන බව දන්වනු කැමති අතර, මගේ සංකල්ප නිවැරදි කිරීමට යමෙක් ඉදිරිපත් වෙන්නේ නම්, ඔවුන් කල්‍යාන මිත්‍රයන් වශයෙන් ම සලකන බව නැවතත් සඳහන් කරමි.

 

තෙරුවන් සරණයි

නිසල ආලෝක බණ්ඩාර.

සමරමු අපි නත්තල්…

බොහෝ දෙනා නත්තල ගැන කතා කරන මේ දිනවල නත්තල ගැන ලිපියක් ලියා මාගේ සටහන්පොත නැවත ආරම්භ කිරීමට සිතමි.

නත්තල බොහෝ දෙනාගේ වසරේ ප්‍රියතම කාලය බවට පත්වීමට හේතු කාරණා කිහිපයක් ගැන මුලින් ම කතා කිරීමට සිතමි. දෙසැම්බර් මාසය බොහෝ දෙනාට බොහෝ සතුට ලැබෙන කාලයකි. බොහෝ දෙනාට ප්‍රසාද දීමනා සහ අමතර දීමනා ලැබෙන මේ කාලයේ කිතුනුවන් නොවන අප පවා යම් දේ මිලදී ගැනීම, විනෝද සවාරි යාම, සාදයන් පැවැත්වීම ආදී කටයුතුවල යෙදීම නොරහසකි. ශීත ඍතුවේ උපරීම කාලය එලබෙන දෙසැම්බර් අවසාන භාගයේ මීට සියවස් ගණනකට පෙර පවා රැකියා කරන්නවුන්ට නිවාඩු ලබාදීමේ සම්ප්‍රදාය ඇති වූයේ ආගමික බලපෑම මත නොව සම්පූර්ණයෙන්ම දේශගුණික තත්ත්ව මත බව පැහැදිලිය. මෙම පුරුද්ද පුරාණ ඊජිප්තුවේ සහ රෝමයේ දක්නට ලැබුනු බව සිහි කැඳවීමට කැමැත්තෙමි.

නත්තල සංකේතවත් කරන ප්‍රධාන කරුණු තුන පිළිබඳව මොහොතකට විමසා බලමු. මින් ප්‍රථම කාරණය වන්නේ Christ of Jesus ගේ උපන් දින සැමරුමයි. මේ පිළිබඳව ඇති තර්ක විතර්ක පිළිබඳව බොහෝ දෙනා නොදන්නවා විය හැක. නමුත් සැබෑ Christ of Jesus ගේ උපන්දිනය සැප්තැම්බර් මසට යෙදී ඇති බවට නොසලකා සිටිය නොහැකි සාධක මතුවී තිබේ. මෙතන කියවන්න, මෙතන, මෙතන, මෙතන මෙයට සාධක වී ඇත්තේ තාරකා විද්‍යාත්මක සාධක සහ Luke සටහන් පදනම් කරගෙන බව මා විසින් කියවා ඇත. මෙයටත් වඩා ම සිත ගත් කාරණය වන්නේ  කිතුනුවන්ට සැමරීමට කියා ඇත්තේ Christ of Jesus ගේ මරණයෙන් නැගී සිටීම පමණක් වීමයි. මේ අනුව දෙසැම්බර් 25 දිනය සැමරීම හුදෙක් සාම්ප්‍රදායක් පමණක් බවට තීරණයක් ගැනීම අපහසු නොවේ. සැබෑවටම සිදුවී ඇත්තේ උපන් දින උත්සවය ඒ වනවිටත් ඇතිවී තිබුණු ශීත ඍතු සැමරුම  (ඉහත විස්තර කරන ලදී) සමඟ ඒකාබද්ධ කිරීමයි. සැබෑ කරුණ නම් දෙසැම්බර් 25 Christ of Jesus ගේ උපන්දිනය බව සැලකීම සම්ප්‍රදායක් සහ මිත්‍යාවක් පමණක් බවය.

දෙවැනි කාරණය වන්නේ නත්තල් ගස වේ. ශිත ඍතුවේ බොහෝ ගස්වල කොළ හැලි යන නමුත් පයින් යන ශාකවල එසේ නොවේ. පුරාතන ජර්මනිය, ඊජිප්තුව, චීනය වැනි රටවල මෙවන් සදාහරිත ශාක ශීත ඍතුව තුළදී සැමරීම පුරුද්දක් වශයෙන් සිදු විය. මෙම ශාකවල සදාහරිතභාවය සහ සියලු සැප සම්පත් ලබාදේ යැයි සලකන “Tree Of Life”(කප්රුක) සංකල්පය යන සියල්ල එකතු වී සදාහරිත ශාකයක් විවිධ දේ වලින් සරසා ශීත ඍතු උත්සවයේ කොටසක් බවට  පත්කර සැමරීම මුලදී කිතුණු ආගමට සම්බන්ධයක් නොදැක්වීය. මෙයට හේතුව වූයේ මෙම සංකල්ප සියල්ල කිතුණු ආගමට වඩා පරණ වීමයි. ඉහත සදහන් කල පරිදි ශිත ඍතු උත්සවය නත්තල් සංකල්පය සමඟ ඒකාබද්ධ වීම සමඟ අද අප දක්නා නත්තල් ගස බිහි විය. මෙහි ඇති හාස්‍යජනක කාරණය වන්නේ කප්රුක යන්න හින්දු ආගමික සංකල්පයක් වීමයි.

තුන්වෙනි කාරණය වන්නේ නත්තල් සීයා හෙවත් “Santa Claus”ය. මෙම සංකල්පය 19 වන ශත වර්ෂයේ බිහි වූ පසුගිය ශත වර්ෂ දෙක තුලදී විවිධාකාරයේ වෙනස් වීම්වලට භාජනය වී පැවතෙන්නෙකි. මෙම සංකල්පයට මුල වන්නේ ක්‍රිස්තුවර්ෂ 4වන  සියවසේ ග්‍රීසියේ වාසය කළා යැයි සැලකෙන නිකලස් නමැති ශාන්තුවරයා ගේ දුප්පතුන්ට තෑගි ලබාදීමේ පුරුද්දයි. නිකලස් ශාන්තුවරයා එකල දුප්පත් පවුල්වල සිටි ගැහැණු දරුවන්ට විවාහ වීමට අවශ්‍ය දායාද ලබාදී ඔවුන් විවාහ කරවා, ඔවුන් වෛශයාවන් බවට පත්වීම වලක්වාලූ බව තවත් ප්‍රසිද්ධ පුරාවුර්තයකි. මෙම සංකල්පය ජර්මන් සංකල්පයක් වූ තෝර් දෙවියන්ගේ පියා ලෙස සැලකු ඔඩින් දෙවියන්ගේ මුහුණ, සහ ඔහුගේ ලක්ෂණ මගින් පෝෂණය වූවක් විය. නමුත් මෙම “Santa” සංකල්පය   Christ of Jesus ට වත් කිතුනු ආගමටවත්, එහි එන දේශනාවන්ටවත් මූලිකව සම්බන්ධ නොවේ. “Santa” සංකල්පය 20 වන ශත වර්ෂයේ එංගලන්තයේ තිබුණු “Gift Giver” සංකල්පයෙන් තවදුරටත් පෝෂණය වූ බවට පැහැදිලි සාධක තිබේ. 1930 පමණ “Santa Claus is coming to town” ගීතය ජනප්‍රිය වන තුරු මෙම සංකල්පය මේ තරම් ප්‍රසිද්ධ වී තිබුණු බවට සාක්ෂි නොමැත.

මෙම කාරණා සියල්ල සලකා බලන විට දෙසැම්බර් මස හා සම්බන්ධව පවතින මූලික සංකල්ප සියල්ල කිතුණු ආගමෙන් බාහිර දේ වන අතර මෙයට කිතුණු භාවය බලෙන් පටවා ඇති බව මට සිතෙයි. නත්තල යන්න මට ගම්‍ය වන්නේ පුරාතන සම්ප්‍රධායක් වූ “ශීත ඍතු උත්සවය” මත වෙනස්කරන ලද, කිතුණු බවට පත්කරන ලද සංකල්ප තවරා නිර්මාණය කරන ලද උත්සවයක් බවයි. නමුත් සුළු අධ්‍යනයකින් පවා මෙහි සැබෑ ස්වරූපය හඳුනාගත හැකිවීම ඔබ අප සැමගේම භාග්‍යයක් ලෙස සැලකිය යුතුය.

මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වන්නේ කාරණා කාරණා පිළිබඳව පැහැදිලි කරදීම මිස වෙන කිසිම අරමුණක් නොවන බව අවධාරණය කිරීමට කැමැති අතර මෙයින් යම් කිසිවකුගේ සිත් රිදවීමක් සිදුවීනම් සමා කරන ලෙස ඉල්ලා සිටිමි. මෙයට අමතරව මෙම කාරණා පිළිබඳව මෙයට වඩා අර්ථ දැක්වීම් හෝ නිවැරදි කිරීම් කළහැකි කිසිවෙක් වේ නම් මා නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

නිසල ආලෝක බණ්ඩාර.