Archive | January 2013

අව්රුද්ද, වසර සහ අපි.

2013 ගැන බොහෝදෙනා උද්දාමයට පත්ව ඇති අද දින අව්රුද්ද වසර සහ ඒ හා සම්බන්ධ කාරණා ගැන මාගේ ආදහස සනිටුහන් කිරීමට තීරණය කලෙමි. මෙය මෙයට කලින් මා විසින් ලියන ලද “සමරමු අපි නත්තල්” ලිපිය හා සමාන විවරණයක් බව කලිතියාම සනිටුහන් කිරීම යුතු ය.

මුකින්ම අපි අව්රුද්ද යන්න කිමෙක් දැයි සලකා බලමු. බොහෝ දෙනා සලකන්නේ අව්රුද්ද යන්න වසර හා සමානාර්ථ යෙදුමක් ලෙසය. නමුත් එය එසේ ලෙස අපි නොදකිමු. අව්රුද්ද යන්න සංස්කෘතයේ එන “අවුර්" පදයෙන් බිදී එන්නකි. අවුර් යනු සූර්‍යයා හැදින්වීමට යෙදුනු පදයකි. ආදිත්‍යා යන්නද මෙයටම සමාන අර්ථයක් වේ. අවුර් + ඉද්ද යන්න සූර්‍යයා කෙලින් පිහිටනවා,  සූර්‍යයා හිස මුදුන් වෙනවා යන්න හැදින්වීමට වෙදුන ව්‍යවහාරයකි. එනම් අව්රුද්ද යන්න යම් සිද්දියකි. එම සිද්දිය දින 365ක් තුල දෙවරක් සිදුවේ. පළමු වරට මෙම සිද්දිය අප්‍රියෙල් මාසය තුළදීත්, දෙවන වරට ඔක්තෝබර් මාසය තුළදීත් ආදී වශයෙනි ඒ.

පුරාතන සිංහලයෝ (සිව්-හෙළයෝ)  සූර්‍යය භක්තිකයන් වූ බව පැහැදිලි කාරණයකි. භාෂාව තුල අදත් ව්‍යවහාර වන “ආදිතමයා" – “ආදී කාලයේ" යන්න, ආදිත්‍යා ගෙන් පවත එන නොහොත් ආදිත්‍යා විසූ කාලයේ යන යෙදුම් වලිනුත්,  සූර්‍යය මංගල්ලය, අවරුදු කුමාරයා හිරු ගෙන් හුවා දැක්වීම සහ අදටත් බොහෝදෙනා කතා කරන “ඉර සේවය නැරබීම" යන්න මෙම කාරණය සම්මත කිරීමට ඇති නොසලකා හැරිය නොහැකි සාධක වේ. පුරාණ සිංහලයෝ ආදිත්‍යාට නෑකම් කියූ බවර, නොහොත් පුරාතන සිංහලයා  සූර්‍යය වංශිකයන් වූ බවට තවත් සාධක අවශ්‍ය පමණ ගෙනහැර දැක්විය හැක. ඉඳින් සිංහලයා හිරු මුදුන් වීම හෙවත් අව්රුද්ද සැමරීම පුදුමයට කාරණයක්ද?

බක් මස අස්වනු නෙලාගනීමේ උත්සවය සහ අව්රුද්ද යන දෙකම එක්කර සොභාග්‍ය සංකේතවත් කරන සිංහල අවරුදු උත්සවය නිර්මාණය වූවේ මේ කාරණය පදනම් කරගෙන බව මාගේ තද බල විශ්වාසයි. දෙවන අව්රුද්ද හෙවත් ඔක්තෝබර් මස සැමරීම සිදු නොවන්නේ අස්වනු දෙවන කන්නයේ අස්වනු නෙලීම දෙසැම්බර් මස සිදුවන නිසා විය හැක. අප විසින් මතක තබාගතයුතු කාරණය වන්නේ පුරාතන සිංහලයන් ගොවි කමින් ජීවත් වූවන් වූ හෙයින් ඔවුන්ගේ සොභාග්‍යවත්ම කාලය අස්වනු නෙලීමේ කාලය වූ බවයි. තවද ලොවපුරා සැරිසරන හිරු කුමරු අප බැලීමට එන කාලය ලෙස ඉරු හිසට කෙලින්ම ඉහලින් පායන කාලය තොරගැනීමත්, එදිනදී හිරු කුමරුගේ ආගමනය සැමරීමත්, තම අස්වනු නිසි පරිදි ලැබීමට “හිරු" කුමරුගෙන් ලැබුණු අනුග්‍රහයට කෘතගුණ සැලකීමත් වශයෙන් හිරු කුමරු පිදීම සිදු කිරීමත් ගැන අපගේ පැරැන්නන්ට දොස් නැගිය යුතු නොවේ.

වැදගත්ම කාරණය නම් ජනවාරි පළමුවෙනිදා අව්රුද්ද නොවන බවය.

මීලඟට අපි වසර ගැන කතා කරමු. වසර හෙවත් වර්ෂය යන්න යම් සිදුවීම් දෙකක් අතර කාල පරිච්චේදය හැදින්වීමට යෙදෙන පදයයි. මෙය හැමවිටම දින 365 ම නොවේ. සංස්කෘතයේ එන “වර්ෂ" යන්නත් ලතින් භාෂාවේ එන “Annus” යන්නත් යුරෝපයේ බොහෝ භාෂාවන් හේ තිබුණු “year" පදයට සමානාර්ථ පද සියල්ලමත් මෙම විවරණය හා එකඟ වේ. වර්ෂ, නැත්නම් year, එසේත් නැත්නම් Annus (Annuam යන්නට මාතෘ වූ පදය) සිදුවීම දෙකක් අතර කාලයි. නැත්නම්, පුරාණ සිංහල ක්‍රමයට අනුව අවරුදු දෙකක් අතර කාලයයි. එසේ නම් වසර පටන් ගන්නේ අවුර් ඉද්දෙණි. නව අවසර පටන් ගන්නේ අවුරුද්දට පසු දිනයෙනි. ජනවාරි පළමු වෙනිදා ගෙන් නොවේ.

කාරණා කාරණා මෙසේ වනවිට අව්රුද්ද යන්න කුමක්ද යැයි පැහැදිලි වේ. නමුත් තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේ සිංහල අලුත් අව්රුද්ද, හින්දු අලුත් අව්රුද්ද යනු එකක් නොවන බවය. සිංහල අලුත් අව්රුද්ද සූර්‍ය මංගල්‍යයි. එය සූර්‍ය කේන්ද්‍ර උත්සවයකි. නමුත් හින්දු අලුත් අව්රුද්ද ගණිතමය පදනමකින් යුතු පෘතුවිය සූර්‍යයා වටා සම්පූර්ණ වටයක් නිම කිරීම (මෙහිදී ගණිතය යන්නෙන් අදහස් කලේ ජ්‍යෝතිෂ්‍ය බව මතක් කරනු කැමැත්තෙමි) මත පදනම් වූවකි. (සූර්‍යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම). මෙය ඉන්දියාව තුල ඇතිවී එහි තිබූ අග්නි හෙවත් ගිනි දෙවියා පිදීම සංකල්පයෙන් පෝෂණය වී (ලිප ගිනි නිවීම, ලිප ගිනි දැල්වීම, කිරි ඉතිරවීම, කාන්තාවන්ට අකැප වීම යන්න තදබල හින්දු සංකල්ප බව නොරහසකි.) මෙය හින්දු අලුත් අව්රුද්ද මිස සිංහල අලුත් අව්රුද්ද නොවේ. මේ දෙක සංකල්ප දෙකක් වන අතර දින දෙකකට යෙදී ඇත. සංකල්පමය වශයෙන් වෙනස්වන මෙම සිද්දි දෙක අද සිටින බොහෝදෙනා පටලවාගෙන සිටීම දුකට කාරණයකි. පුරාණ සිංහලයා සමරුවේ සිරු මුදුන් වීමයි. හින්දුන් සමරුවේ සූර්‍ය සංක්‍රාන්තියයි.

නමුත් මේ දෙකින් එකක්වත් ජනවාරි පළමු වෙනිදාට යෙදී නැත. එදිනට යෙදී ඇත්තේ සීසර්ලාගේ උගුලයි. අප වැටී ඇත්තේ එම උගුලේයි. එය අපට කිසිසේත්ම අදාළ නොවන බව සක් සුදක් සේ පැහැදිලිය.

බුද්ධ වර්ෂ, ශකරාජ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ව්‍යවහාර වර්ෂ සහ මුදල් වර්ෂ ගැන පසු දිනෙකට කතා කිරීමට ඉතිරි කරගමි.

මාගේ මෙම සංකල්ප කෙරෙහි ඇති යෝජනා සහ චෝදනා භාරගැනීමට ඉතා සිතින් සතුටු වන බව දන්වනු කැමති අතර, මගේ සංකල්ප නිවැරදි කිරීමට යමෙක් ඉදිරිපත් වෙන්නේ නම්, ඔවුන් කල්‍යාන මිත්‍රයන් වශයෙන් ම සලකන බව නැවතත් සඳහන් කරමි.

 

තෙරුවන් සරණයි

නිසල ආලෝක බණ්ඩාර.